ප්‍රතිජීවක පාවිච්චියට පෙර මේ ගැනත් සිතන්න

Dr Bhagya

 

භාග්‍යා පියසිරි
ක්‍ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍ය
කරාපිටිය ශික්‍ෂණ රෝහල, ගාල්ල

මෙම ලිපිය නොවැම්බර් මස 17 වන දින ආරෝග්‍යා පත්‍රයේ පළවිය.

 
ප්‍රතිජීවක යනු සැබවින්ම බැක්ටීරියා මගින් සෑදෙන ලෙඩරෝග වලට අගනා දිව ඔසුවකි. සාමාන්‍ය ව්‍යවහාරයේදී  (Antibiotics) ඇන්ටිබයෝටික් ලෙස හඳුන්වන මෙවන් බෙහෙත් ඔබත් ජීවිතයේ එක්වරක් හෝ ලබාගෙන ඇති. වෙළඳපලේ බහුලව භාවිතාවන amoxicillin, ciprofloxacin, යනාදී ප්‍රතිජීවක ඔබටත් හුරු වදන් බව නිසැකයි.

වර්තමානයේ අප පාවිච්චි කරන විවිධාකාරයේ ප්‍රතිජීවක භාවිතයට පෙර අප විසින් දැනගත යුතු කරුණුද බොහෝමයි.  මේ වැදගත් කරුණු ශීඝ්‍රයෙන් ලොව පුරා පැතිරෙන, බැක්ටීරියාවන්හි ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවයද අවම කිරීමට දායක වේ.

මෙම ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය හේතුවෙන් ආසාදන දරුණු වී විනාශවන ජීවිතත්, මහත් වූ සමාජීය හා ආර්ථික හානියත් සැලකීමට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම නොවැම්බර් 18 සිට 24 දක්වා සතියක් "ලෝක ප්‍රතිජීවක කෙරෙහි දැනුවත් වීමේ  සතිය" (World Antibiotic Awareness Week) ලෙස නම් කර ඇත.  ප්‍රතිජීවක සම්බන්ධ මේ දැනුම ඔබටත් ඇතිදැයි බලන්න.

 

  1. බැක්ටීරියා ආසාදන වලට පමණක් පාවිච්චි කරමු

 කෝවිඩ්-19 වසංගතයත් සමග වර්තමාන සමාජයේ ප්‍රතිජීවක භාවිතය වැඩි වී ඇති ලෙසක් පෙනෙන්නට තිබේ. සමහරු තම ආසාදනය වෛරස මගින්ද බැක්ටීරියා මගින්ද යන්න ගැනවත් වද නොවී ප්‍රතිජීවක ගිල දැමීමට හුරු වී ඇත. අවබෝධ කරගත යුතු කරුණ වන්නේ වෛරස මගින් පමණක් සෑදෙන සංකූලතා රහිත කෝවිඩ්-19 හෝ සෙම්ප්‍රතිශ්‍යාවකට ප්‍රතිජීවක මගින්  බලපෑමක් නොමැති බවයි.

තවද, ඔබ සැබෑ හේතුවක් නොමැතිව ප්‍රතිජීවක භාවිතා කරන්නේ නම් (අවිචාරමත්ලෙස) ඔබේ ශරීරයේ ප්‍රතිශක්තියට උරදෙන ප්‍රයෝජනවත් බැක්ටීරියා මිය යනු ඇත. එයින් දිවි ගලවා ගන්නා බැක්ටීරියා වෙතොත් ඒවා තුළ ඔබ ගත් ප්‍රතිජීවකයට එරෙහිව ප්‍රතිරෝධී ජානයක් සෑදීමට ඉඩ ඇත. ඔබට සැබෑවටම බැක්ටීරීයා ආසාදනයක් ඇතිවීමේදී ආසාදනය ඇති කරන බැක්ටීරියා වර්ගය ඔබේ ශරීරයේ ප්‍රතිරෝධී බැක්ටීරියාවන්ගෙන් ප්‍රතිරෝධී ජාන සොරාගෙන ප්‍රතිජීවක ප්‍රතිරෝධී (antibiotic resistant) ආසාදනයක් දක්වා ඔබගේ ආසාදනය ව්‍යාප්ත කරනු ඇත. එබැවින් ප්‍රතිජීවක ඖෂධ ගැනීමේදී ප්‍රවේසම් විය යුතු අතර ප්‍රතිරෝධයට හේතු වූ අවභාවිතය වැළැක්විය යුතුය.

 

  1. ප්‍රතිජීවක ගැනීමට පෙර ක්‍ෂුද්‍රජීව පරීක්‍ෂාවක් සිදුකර ගන්න

  සියලු බැක්ටීරියා සියලු ආකාරයේ ප්‍රතිජීවක වලට විනාශ වන්නේ නැත. එසේම මිනිසාට වැළඳෙන බැක්ටීරීයා ආසාදන සෑදෙන්නේද විවිධාකාරයේ ලක්‍ෂණ ඇති බැක්ටීරියා වලිනි. ක්‍ෂුද්‍රජීව පරීක්‍ෂණයක්  (bacterial culture) නොකර තමාට ආසාදනය ඇතිකළ බැක්ටීරියාව හෝ එය විනාශ කළ හැකි ප්‍රතිජීවක හඳුනාගැනීමට නොයෙක්විට අපහසු වෙයි. එසේම ප්‍රතිජීවක ගැනීමට ආරම්භ කළ පසුව කරන ක්‍ෂුද්‍රජීව පරීක්‍ෂණය ප්‍රතිපලදායක වීමට ඇති ඉඩ අඩුය. නිවරදි ක්‍රමය වන්නේ ප්‍රතිජීවක ගැනීමට පෙර ක්‍ෂුද්‍රජීව පරීක්‍ෂාව සිදුකර ගැනීමයි.

 

  1. නියමිත මාත්‍රාව නියමිත වේලාවට ගැනීම

ප්‍රතිජීවක ගැනීමේදී ඉක්මන් හා සම්පූර්ණ සුවය ලැබීමට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ නියමිත මාත්‍රාව (correct dose) නියමිත වේලාවට (frequency) ගැනීමයි. සමහර රෝගීන් කරල් හෝ පෙති දෙක බැගින් ගන්න යයි කියූ විට හිතුමතයේ එක කරල බැගින් ගනී. තවත් සමහරු පැය අටකට හෝ හයකට වරක් ගැනීමට කී බෙහෙත සිතූ සිතූ වෙලාවට හෝ මතක්වෙන වෙලාවට ගනී. මෙය ඉතාමත් අහිතකර පුරුද්දක් වන අතර ඉතා ඉක්මනින් ආසාදනය ඇති කළ බැක්ටීරියාව පාවිච්චි කරමින් පවතින ප්‍රතිජීවකයට ප්‍රතිරෝධය (resistance) සාදාගෙන එම බෙහෙතෙන් පලක් නොවන තැනට පත්විය හැකිය.

 

  1. නියමිත කාලය සම්පූර්ණ කිරීම

ප්‍රතිජීවක ගැනීමට නියමකළ සම්පූර්ණ දින ගණන නියමිත පරිදි නොකඩවා ගැනීම ඔබේ ප්‍රතිකාරයේ සාර්ථකත්වයට බලපාන තවත් වැදගත් සාධකයකි. සමහර බැක්ටීරියා වර්ග විනාශ කිරීමට දින ගණනක් ගතවිය හැකිය. ක්‍ෂය රෝගය, ලාදුරු වැනි රෝග වලට මාස ගණන් ප්‍රතිජීවක ගත යුත්තේ එබැවිනි. අපට වැළඳෙන මුත්‍රා ආසාදන, උණ සන්නිපාතය (typhoid fever) , නිවුමෝනියාව, ශරීර අභ්‍යන්තර අවයව ආසාදන හා සැරව ගෙඩි වැනි දරුණු බැක්ටීරියා ආසාදන වලදී සති ගණන් වුවද ප්‍රතිජීවක ගැනීමට සිදුවිය හැක. මෙහිදී තමා පාවිච්චි කරන ප්‍රතිජීවක හා ඒවායේ අතුරුඵල ගැන වෛද්‍යවරයාගෙන් විමසා දැන ගැනීම වැදගත් වේ. යම් අසාත්මිකතත්වයක් හෝ අතුරු ආබාධයක් නිසා නියම කරනලද බෙහෙත ගැනීමට නොහැකි විටක අනිවාර්‍යයෙන්ම බෙහෙත නියම කළ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුය. බොහෝවිට ඔබගේ ආසාදනය සුව කිරීම සඳහා වෙනත් ප්‍රතිජීවකයක් නියම කෙරෙනු ඇත.

 

  1. ප්‍රතිජීවකවල අතුරුඵල හා අසාත්මිකතා ගැන දැනුවත් වන්න

ඇතැම් ප්‍රතිජීවක නිසා දරුණු අසාත්මිකතා ඇති විය හැක. වරක් අසාත්මික වූ ප්‍රතිජීවකයක් නැවත වරක් හිතුමතයේ ගැනීම ජීවිතයට පවා තර්ජනයක් විය හැකිය. එම නිසා එවන් අසාත්මිකතාවයක් තමාට ඇතිවුවහොත් එම බෙහෙතේ නම වෛද්‍යවරයාගෙන් අසා දැන ගෙන ඒ බව තම රෝග නිශ්චය පතේ සටහන් කරවා ගැනීම වැදගත් වේ. එසේම අසාත්මිකතා නොවන වෙනත් අතුරුඵලද රෝගියාට විවිධාකාරයේ අපහසුතා ඇතිකරයි. එම අපහසුතා මග හරවා ගැනීමට වෛද්‍ය උපදෙස් වැදගත් වේ. මග හරවා ගත නොහැකි පීඩාකාරී අතුරුඵල ඇතිවූ විට එම බෙහෙත අත් හිටුවා ඒ වෙනුවට වෙනත් බෙහෙතක් නියම කිරීමට වෛද්‍යවරයා පියවර ගනු ඇත.

 

ඉහත කී සියලු කාරණා ප්‍රතිජීවක ගැනීමේදී රෝගියා විසින් මනා ලෙස දැනුවත් විය යුතු දේ වෙයි. එසේ නැතහොත් "දැන ගියොත් කතරගම; නොදැන ගියොත් අතරමග" න්‍යාය ප්‍රතිජීවක සම්බන්ධයෙන්ද සත්‍ය බව සිහි තබා ගැනීම වටනේය.